ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම

අවශ්‍යතා : 07 යි
ප්‍රවීනතා පදක්කම් : නැත
සේවා කාලය : මාස 02 යි. වයස අවු. 18 ට පෙර දිනාගත යුතුයි.
සුදුසුකම් : වයස අවුරුදු 10 මාස 06 න් පසුව පුහුණුව ආරම්භ කළ හැකිය.
නිල ඇඳුම : බාලදක්ෂ නිල ඇඳුම.

බාලදක්ෂ පොරොන්දුව හා නීතිය #

බාලදක්ෂ පොරොන්දුව #

මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද,
සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද,
බාලදක්ෂ නීතියට කීකරු වීමට ද,
මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සහය යෙදීමට
ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි.

බාලදක්ෂ නීතිය #

  1. බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි.
  2. බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි.
  3. බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි.
  4. බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි.
  5. බාලදක්ෂයා ආචාරශීලී අයෙකි.
  6. බාලදක්ෂයා කරුණාවන්ත අයෙකි.
  7. බාලදක්ෂයා කීකරු තැනැත්තෙකි.
  8. බාලදක්ෂයා සතුටින් සිටින්නෙකි.
  9. බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.
  10. බාලදක්ෂයා සිත, කය, වචනයෙන් පිරිසිඳු අයෙකි.

ජාතික ගීය #

ලොව මුල් කාලයේ ජාතිකත්ව හැඟීමක් මතුවී නොආවද මධ්‍යකාලීන යුගයට පිවිසීමත් සමඟ ප්‍රථමයෙන්ම යුරෝපීය රටවල ජාතිකත්ව හැඟීම් ඉස්මතු විය. ඒ අනුව සෑම ජන වර්‍ගගයකටම ආවේණික වූ ජන ගායනා බිහිවූ අතර නොයෙක් වෘත්තීන්හි යෙදෙන විවිධ ජන කොටස් වලින් සමන්විත ජාතියක, සංස්කෘතිය පිළිබිඹු කරන ගීතයක් තම ජාතික ගීය ලෙස පිළිගනු ලැබුණි. මේ අනුව ලොව පැරණිතම ජාතික ගීය ලෙස නෙදර්ලන්ත ජාතික ගීය ක්‍රි.ව.1626 දී භාවිතාවට පත්විය. බ්‍රිතාන්‍ය ජාතික ගීය ක්‍රි.ව.1745 දී ආරම්භ වුවද එහි නෙදර්ලන්ත ජාතික ගීයට වඩා වැඩි ‍ඵෙතිහාසික අගයක් පිළිඹිබු වන බව පිළිගනී.

ඒ අනුව ජාතික ගීය සෑම රටකම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත. ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූයේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතු වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයන්ගේ ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සුරකින ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැඟුණි. මෙය මතුවූයේ විසිවන සියවසේ හතරවන දශකයේ දී ය. මේනිසා 1948 ජනවාරි 31 වැනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ඇම්. ජේ. පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළහ. ආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිණිය කැරලයින් ද සිල්වා මහත්මිය ද, “නමෝ නමෝ මාතා” ගීතය ඉදිරිපත් කළාය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කර තිබුණේ “සිරිලක මාතා නමදිමු සැමදා” ගීතයයි. අවසානයේදී එම විනිසුරු මඬුල්ලේම සිටි පී. බී. ඉංගසින්හ නොතාරිස් රාළහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකුව ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ “ශ්‍රී ලංකා මාතා පාලා රස මහිමා ජය ජය” ගීතය තරඟයෙන් ප්‍රමුඛස්ථානය ගත්තේ විවේචන රැසකට භාජනය වෙමිනි.

1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේ දී ගායනා කරනු ලැබුයේ මෙම ගීතයයි. නමුත් දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුයේ “නමෝ නමෝ මාතා” යන ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ගීතයයි.

1950 අප්‍රේල් මස මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන්. 1951 නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය. “නමෝ නමෝ මාතා” ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය.

  • එහි “න” අක්ෂරය අපාය අක්ෂරයක් වීම.
  • ආරම්භක ගණය අනිටු ගණයක් වීම.
  • භක්ති රසය ජනනය වීම.

එවැනි විවේචන කිහිපයකි. පසු කාලීනව 1962 වසර මුලදී එය දැනට පවතින ආකාරයට වෙනස් කෙරිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය පිළිබඳ සටහන #

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තියෙහි දැක්වෙන්නේ, “ශ්‍රී ලංකා ජනරජයෙහි ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” වන අතර, එහි පද හා සංගීතය තුන්වන උප‍ලේඛනයෙහි දක්වා ඇති පරිදි වෙයි” යනුවෙනි.  එම තුන්වන උපලේඛනයෙහි සංගීත විස්තාරයට අනුබද්ධව ඉංග්‍රීසි අකුරෙන් ජාතික ගීයෙහි සිංහල පද ලියා දක්වා ඇති අතර ජාතික ගීයේ කුමන කොටස් තුමන අවස්ථා වලදී භාවිතා කල යුතුද යන බව හා එය වාදනය කල යුත්තේ ‍කුමන ආකාරයටද යන්න දක්වා ඇත.

ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී……. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී …… ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී…….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකොන් මහතා #

ආනන්ද සමරකෝන් මහතා

අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප‍්‍රශ්න සියල්ලට ම උත්තරය එක ම නමකි. ඒ ආනන්ද සමරකෝන් මහතාය.

මොහු එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හදුන්වන කොට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගනී. පණ්ඩිත් ඩී. සී. පී. ගම්ලත්ගේ ඔහුගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ ශාන්තිනිකේතන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හදාරන ලදී. මාස හයකට පසු ඉගෙනීම අතරමග නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කරයි. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ආභාශය ලබාගනී. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රි ලාංකික මිනිසුන් සදහා උචිත වන සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව කිවයුතුය.

1937 දී, උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙරට ජනප්‍රියතම සිංහල සිංදුවල අඩංගුවී තිබිනි. මෙම සිංදුවල පදමාලා තේරුම් රහිත සහ කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනිකවු සංගීතමය ආකෘතියක් “එන්ඩද මැණිකේ” ගීතය එළිදැක්වීමත් සමග ඉදිරිපත් කරන ලදී. 1940දී ඔහු “නමෝ නමෝ මාතා” ගීතය රචනා කරන ලදී. පසුව මෙම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගන්නා ලදී ආදරය තේමාකරගත් ගීතයක් වන “එන්ඩද මැණිකේ” ගමක තරුණ ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකු අතර ඇතිවන දෙබසක් ලෙසින් දිගහැරේ. එය සාර්ථක වීමත් සමගම සාර්ථක නිර්මාණ රාශියක් එළිදක්වන ලදී. 1940 කාලය ඔහුගේ ස්වර්ණමය කාලපරිච්ඡේදයි. ඔහුගේ විශිෂ්ඨ නිර්මණ අතුරින්:

  • පොඩිමල් එතනෝ
  • විලේ මලක් පිපිලා
  • පොසොන් පොහොදා
  • අහසේ මැදුර
  • සුනිලා ගුවනේ
  • පුන්චි සුදා
  • නිල්වලා ගගේ
  • සුමනෝ
  • පුදමු කුසුම්
  • සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී…………………….

1945 දි සමරකෝන් මහතාගේ එකම පුතු වයස 5 දි මිය ගිය අතර ශෝකයට පත් සමරකෝන් මහතා ඉන්දියාවට ගියේය. එහිදි ඔහු චිත්‍ර ඇදිමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පවත්වන ලදි. එහිදි ඔහුගේ චිත්‍ර මහත් ඉහල පිළිගැනිමකට ලක් විය. පසුව නැවත ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දි නැවත සංගිතය කෙරෙහි යොමු විය.

එදා අපේ රටේ ජාතික ගීය ලෙස තෝරා ගැනුනේ ඔහු ගාල්ලේ මහින්ද විදුහලේ දරුවන්ට පුහුණු කරන්නට ලියූ ගීයක්. ඒ ගීය තෝරා ගැනීම වෙනුවෙන් ඔහුට රජයෙන් ලැබුණු ප‍්‍රදානය ගැන ද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. එය ඔහු විසින් මුද්‍රණය කරන්නට දී තිබූ පොතකට මේ ගීය ඇතුළත් කිරීම නිසා එහි මුද්‍රණකරු හා ප‍්‍රකාශක ඔහු සමඟ නඩු කියා උසාවිය මගින් ඒ මුදලෙන් අඩක් උදුරා ගන්නා ලදි. මෙයට අමතරව ඔහුගේ ගීයේ ආරම්භක වදන්, දෝෂ සහිත ගණවලින් යුක්ත බැවින් රටට අගුණ යයි ගෙනා තර්කයක් නිසා ඔහුට හොරෙන් එවකට පැවති රජය විසින් එය “ශී‍්‍ර ලංකා මාතා” යනුවෙන් වෙනස් කරනු ලැබීය. මෙය ඔහුගේ බලවත් සිත් තැවුලට හේතු විය.

1962 අප්‍රේල් 15 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මෙතුමාගේ මරණය සිදුවිය. ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ.

(තොරතුරු මූලාශ්‍ර : Wikipedia , අන්තර්ජාලයෙන් හා පොත පත ඇසුරින්)

බාලදක්ෂ ලාංඡනය හා බාලදක්ෂ ආචාර විධි #

ලෝක බාලදක්ෂ ලාංඡනය #

ලෝක බාලදක්ෂ ලාංඡනය දම් පැහැ පසුබිමේ සුදු පැහැයෙන් හා සුදු පැහැ පසුබිමේ දම් පැහැයෙන් ඇත. සුදු පැහැයෙන් පවිත්‍රත්වයත් දම් පැහැයෙන් නායකත්වය හා සේවයත් නිරූපනය වේ

සිතියම්වල උතුර දක්වන ඊ හිස සලකුණ බාලදක්ෂ ලාංඡනය ලෙස යොදාගත් බව බේඩ්න් පවෙල් සාමිතුමා පවසයි. පසු කලෙක බේඩ්න් පවෙල් ආර්යාව එය ගමන් කළයුතු සත්‍ය මාර්ගය පෙන්වන බව පැවසීය.

ලොව වෙසෙන සෑම බාලදක්ෂයෙකුම ලෝක බාලදක්ෂ ලාංඡනය පළඳිති. එමනිසා ලෝක බාලදක්ෂ ලාංඡනයේ මූලාරම්භය විමසා බැලීම වැදගත්ය. මෙම ලාංඡනයේ මූලික හැඩරුව දැනට බාලදක්ෂ ව්‍යාපාරය පවත්නා රටවල් හා ප්‍රාන්ත 215 හිම බාලදක්ෂ ලාංඡනයන් වල භාවිත වන අතර බාලදක්ෂ ලාංඡනය අද වන විට ලොව ප්‍රකටම ලාංඡනයක් බවට පත්ව ඇත.

ලරෑස් විශ්ව කෝෂයේ පරිදි මෙම ලාංඡනය ආදි ඉතාලියේ එට්රූස්කන් ප්‍රතිමාවල සහ රෝම අලංකරණ භාණ්ඩවලද, ඊජිප්තුවේ, ඉන්දියාවේ හා පර්සියාවේ ඓතිහාසික ස්මාරකයන්ගේද, ක්‍රි.පූ 2000 පමණ අතීතයට දිව යන චීන ඓතිහාසික වාර්තා වලද,  දක්නට ලැබේ.

13 වන සියවසේ දී මාර්කෝ පෝලෝ චිනයේ කැතේ වල මාලිමාවක් යුරෝපයට ගෙන ඒමත් සමගම මෙම ලාංඡනයද යුරෝපයට පැමිණ තිබේ. මහා විශ්ව කෝෂයේ සඳහන් වන පරිදි ඉතාලි ජාතික සමුද්‍ර යාත්‍රිකයකු වූ ඇමල්ටි හි එලාසියෝ ඩියාජෝ විසින් නිපදවූ ප්‍රාථමික මට්ටමේ මාලිමාවේද, බ්‍රිටනිකා විශ්ව කෝෂයට අනුව ඉපැරණි ග්‍රීක මුහුදු සිතියම් වල වයින්ඩ් රෝස් ලෙස හැඳින්වුනු දිශා මාපකයේ එක් දිශාවක් උතුරු සුළඟ අරුත ඇති ට්‍රැමොන්ටානා යන්න නිරූපනය වන සේ  “T” සමග ඒකාබද්ධවද දිශා දැක්වීම සඳහා යොදා ගෙන ඇත.

එසේම පුරාණ ප්‍රභූ පවුල් වල සලකුණු අලංකරණය සඳහද යොදා ගෙන ඇත. සමහර විටක මෙම ලාංඡනය හෙල්ලක, තෝමරයක, ලිලී මලක, මී මැස්සකුගේ, ගෙම්බෙකුගේ හැඩරුව එන ලෙසද යොදාගෙන ඇත.

අතීතයේ මෙම ලාංඡනය ෆ්ලර්-ඩී-ලී ලෙස හඳුන්වා ඇත. 5 වන සියවසේ ප්‍රංශයේ ක්ලෝව් රජුගේ රාජකීය සිතුවම් වලද මෙම ලාංඡනය දක්නට ලැබේ. සාම්ප්‍රදායික ලෙස මරිය තුමිය හා සබැඳි ලාංඡනයක් ලෙසද  14 වන සියවසේ 19 වන සියවස තෙක් ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ රාජකීය සංකේතය ලෙසද යොදා ගෙන ඇත.

අද ද ලොව පුරා මාලිමා භාවිතා කරන්නන්ට මාලිමාවේ ඊ හිස මග පෙන්වන්නා සේම බේඩ්න් පවෙල් සාමිතුමා විසින් බාලදක්ෂ ලාංඡනය ලෙස යොදාගත් එම ඊ හිසම සේවය හා සහෝදරත්වය සඳහා බාලදක්ෂයන්ට මග පෙන්වයි.

(සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යලයීය බාලදක්ෂ සමූහයේ සහය බාලදක්ෂ ආචාර්ය සසික අනුශාන් මුණසිංහ මහතා විසින් අන්තර්ජාලයෙන් හා පොත පත ඇසුරින් සැකසු ලිපියකි)

බාලදක්ෂ සලකුණ #

සමස්ත බාලදක්ෂ ලෝකයටම පොදු වූ සලකුණක් හා ආචාර විධියක් බාලදක්ෂ ව්‍යාපාරය සතු වේ. ලෝක බාලදක්ෂ ලාංඡනය සිහි ගන්වන්නා වූ එම බාලදක්ෂ සලකුණ පහත ආකාරයට සකසා ගත යුතුය. (01 රූපය)

01 රූපය

දකුණතෙහි දබරඟිල්ල , මැදඟිල්ල හා වෙදඟිල්ල ඉහලට ඔසවා සුළැඟිල්ල මත මහපටඟිල්ල සිටින සේ අතැඟිලි සකසා ගත යුතුය. අනතුරුව ශරීරය පැත්තෙන් අතෙහි වැලමිටෙන් පහල කොටස නවා ශරීරයට සමානතර වන සේ ඔසවා අත්ල ඉදිරියට පෙනෙන සේ තැබිය යුතුය. එසේම වැලමිට කෝණය 900 වන සේ වැලමිටෙන් ඉහල කොටස පොළවට සමාන්තරව තබා ගත යුතුය. (02 රූපය)

බාලදක්ෂ සලකුණ මගින් බාලදක්ෂ පොරොන්දුව අරුත් ගන්වනු ලබයි. බාලදක්ෂ පොරොන්දුව ගැනීමේදි හා අලුත් කිරීමේදි බාලදක්ෂ සලකුණ දක්වනු ලබයි.

බාලදක්ෂ ආචාරය #

ලොවපුරා විසිරී සිටින ඕනෑම බාලදක්ෂයෙක් නිල ඇඳුම ඇතිව හෝ නැතිව එකිනෙකාට ආචාර කිරීම සිදු කරනු ලබයි. ප්‍රථමයෙන්ම ආචාර කරන්නා සීරුවෙන් සිටීමේ ඉරියව්වට පැමිණිය යුතුය. අනතුරුව බාලදක්ෂ සලකුණ පරිදි අතැඟිලි සකසා ගත යුතුය. නමුත් එය සීරුවෙන් සිටීමේ ඉරියව්වේ සිට අත ඉහලට එසවීමේදි ක්‍රමයෙන් සැකසෙන ආකාරයට සකසා ගැනීමට වග බලා ගත යුතුය. බාලදක්ෂ සලකුණ සකසා ඉහලට එසවීම නොකළ යුතුය.

පසුව දකුණු ඇහිබැම ගෑවෙන නොගෑවෙන සේ අත්ල ඉදිරියට පෙනෙන සේ තබා හිස කෙලින් කර ආචාරය දැක්විය යුතුය. මෙහිදී දකුණු අතේ වැලමිටෙන් ඉහළ කොටස පොළවට හැකිතාක් සමාන්තර වන සේ තබා ගත යුතු අතර වැලමිටෙන් පහල කොටස වැලමිටෙහි සිට ඇඟිලි තුඩු දක්වා හැකිතාක් කෙලින් තබාගත යුතුය. (03 රූපය)

හිස් වැස්මක් ඇතිවිට ඉදිරියට ඇති වාටිය ගෑවෙන නොගෑවෙන සේ ආචාරය කළ යුතුය. (04 රූපය) අත ඉහළට හා පහලට ගැනීමේදි ශරීරයට සමීපව ඔසවා ආචාර කර සැනින් ශරීරය ඉදිරියෙන් අත පහල දැමීම කළ යුතුය. මෙහිදී හඬ නගින සේ අත ශරීරයේ ගැටිම නොකළ යුතුය. සෑම විටම ආචාර කරන්නා හා එයට ප්‍රතිචාර කරන්නා එකිනෙකාගේ දෑස් බැල්ම ගැටෙන සේ බැලීම වැදගත් වේ.

යෂ්ටිය සමඟ ආචාර කිරීම #

මෙහිදී වමතෙහි පහල කොටස වැලමිට පෙදෙසින් ශරිරය දෙසට නවා පොළොවට සමාන්තර වන සේ ශරීරයට ගෑවෙන නොගෑවෙන සේ තබා අත්ල පහලට සිටින සේ දැක්විය යුතුය. (05 රූපය)

බාලදක්ෂ අතට අත දීම #

බාලදක්ෂයින් අතට අත දීම සිදු කරනු ලබනුයේ වමතිනි. අනෙකාට හදවතින්ම තමාගේ ඇති සුහදත්වය ප්‍රකාශ කරමින් මිත්‍රත්වය හා සහෝදරත්වය උදෙසා එකිනෙකා වෙනුවෙන් සුබ පතා ගැනීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

වර්ෂ 1946 දි ගිල්වෙල් උද්‍යානයේ පැවති පුහුණු පාඨමාලාවකට සහභාගී වෙමින් සිටි බටහිර අප්‍රිකානු ජාතික තරුණයෙක් බාලදක්ෂයන්ගේ වමතින් අතට අත දීමේ චාරිත්‍රයේ මූලාරම්භය ගැන මෙසේ පවසා ඇති බව එවකට මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන කොමසාරිස්වරයා වූ ‘රොව්ලන් සාමිවරයා’ පවසා ඇත.

අප්‍රිකාවේ ‘කුම්සි’ නගරයේ වැටීමත් සමග ම අශාන්ති ගෝත්‍රික නායකයා වූ ‘ක්වේකු අන්ඩෝ-හ’ බී.පී තුමා වෙත පැමිණ සුහද ලෙස සුභ පැතීමට තම වමත දිගුකර ඇත. එය පිළිගනිමින් තම සුරත දිගුකොට ඇත.

නැහැ !……. මගේ දේශයේ වීරයන්ගෙත් වීරයන්ට අතට අත දෙන්නේ වමතින්…….

කියමින්  ගෝත්‍රික නායකයා එතුමාගේ වමතම පතා සිටියේ එම වීරත්වයට උසස්ම ගෞරවය පුද කිරීමටය.

වර්ෂ 1947 දී , අප්‍රිකාවේදි ‘1වන ප්‍රෙම්ප්’ නම් වූ එවකට සිටි අශාන්ති ගෝත්‍රික නායකයා මුණගැසීමට අවස්ථාවක් ලද රොව්ලන් සාමිවරයා මෙම චාරිත්‍රය ගැන ඔහුගෙන් විමසා ඇත. ඔව් එය සත්‍යයක් යැයි කී ගෝත්‍රික නායකයා යුරෝපීය ජාතිකයකු ඒ ගැන දැන සිටීම ගැන පුදුමයට පත්විය. ඒ මන්ද යත් තම ඉහළ පෙළේ සටන්කාමින් අතුරින් අති විශේෂ වීරත්වයක් දක්වන්නවුන්ට පමණක් ගෝත්‍රික නායකයාගෙන් පිදෙන උසස්තම ප්‍රණාමයක් සේ සැලකෙන වමතින් අතට අත ඔවුන් අතර ඇති රහස් සංකේතයක් වීමය. මෙම චාරිත්‍රය අශාන්ති ගෝත්‍රිකයන් අතර පමණක් නොව ‘ඔවෝර් ඔගූන්’ නමින් බටහිර නයිජීරියානු ‘යොරූබා’ ගෝත්‍රිකයන් අතර ද උසස්ම ගෞරවාන්විත ප්‍රණාමයක් බව ද රොව්ලන් සාමිවරයා පවසා ඇත.

බාලදක්ෂ නලා සංඥා සහ හස්ත සඥා 02 බැඟින් #

නලා සංඥා #

ඔබ කුමන කාර්යයක යෙදී සිටියත් සංඥාවක් ලද වහාම එයට අවනත විය යුතු ය. බාලදක්ෂයින්ගේ අවධානය යොමු කරවීමට තනි දිග නලා සංඥාවක් දී, අනතුරුව අවශ්‍ය සංඥාව දිය යුතු ය. අවධානය යොමු කරවීම සඳහා දෙනු ලබන තනි දිග නලා ශබ්දය පසුව දෙන සංඥාවේ කොටසක් නෙවන බව සලකන්න.

ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම සඳහා නවකයෙකු විසින් දැනගත යුතු නලා සංඥා දෙකකි.

හස්ත සංඥා #

එමෙන්ම නවකයෙකු හට අශ්ව ලාඩමට සහ කාණ්ඩ අනුව පේලි සෑදීම සඳහා භාවිතා කරන හස්ත සංඥා තේරුම් ගැනීමට හැකියාව තිබිය යුතු ය.

හුරුබුහුටිකම #

නවකයා හට සීරුවෙන් සිටීම, පහසුවෙන් සිටීම, දකුණට හැරීම, වමට හැරීම, ආපසු හැරීම යන විධානයන් අනුව නිවැරදි ඉරියව් හුරුබුහුටි ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට හැකි වීම මෙයින් බලාපොරොත්තු වේ.

සීරුවෙන් සිටීම #

බාලදක්ෂයා සීරුවෙන් සිටීමේදි හමුදාවේ මෙන් පමණට වඩා ශරීරය තදකරගෙන සිටිය යුතු නැත. නමුත් නිසි අයුරින් ශරීරය සෘජුව තබා ගැනීම වැදගත් වේ.  ඒ සදහා කකුලේ විලුඹවල් එකට ගැටෙන සේ තබා, මහපට ඇඟිලි දෙක අතර කෝණය 450 පමණ වන සේ තබාගත යුතු වේ. අත් දෙක මිට මොලවා කලිසම දෙපැත්තේ ඇති මැහුම් වාටියට ගැටෙන සේ ශරීරය දෙපැත්තෙන් තබා සිට ගතයුතු ය. එසේ සිටීමේ දී වටපිට බැලීම නොකල යුතු ය.

 

 

පහසුවෙන් සිටීම #

මෙහිදි කකුල් දෙක අඩි 1 – 1 1/2 ක පමණ පරතරයක් ඇතිව ඇඟිලි ප්‍රදේශ සුළුවෙන් ශරීරයෙන් පිටතට විහිදුවා, අත් දෙකේ ඇඟිලි දිගහැර දකුණු අත්ල වම් අත්ල උඩින් තබා, මහපට ඇඟිලි දෙක පටලැවෙන සේ ශරිරයේ පිටුපසට ඇද, ශරීරය හිස කෙලින් තබා ගැනීම වඩාත් හුරුබුහුටි බවක් පෙන්වයි.

 

යෂ්ටිය සමග සීරුවෙන් සිටීම #

මෙහිදී දකුණු අතින් යෂ්ටිය අල්ලා ගත යුතුයි. රූපයේ පරිදි මහපට ඇඟිල්ල තනියෙන් එක් පසකින්ද, අනෙක් අතේ ඇඟිලි එක්කර අනෙක් පසින්ද අඟිලි අතර යෂ්ටිය ද, රඳවා ගත යුතුයි. අත දිග හැර යෂ්ටියේ් පහළ තුඩ දකුණු කකුලේ සුළඟිල්ල ඇති පෙදෙසට ගෑවෙන නොගෑවෙන සේ කෙලින් තබා අනෙක් අත සාමාන්‍ය පරිදි ම තබා ගතයුතු ය. යෂ්ටිය සුළු වශයෙන් ශරීරයේ ඉදිරියෙන් තිබිය යුතු ය.

 

යෂ්ටිය සමග පහසුවෙන් සිටීම #

මෙහිදී අත ශරීරයෙන් පිටතට දිගහැර යෂ්ටියේ පහළ කොටස ද පෙර පරිදිම තබා ඉහළ කොටස පමණක් ශරීරයෙන් ඉවතට අල්ලා තබා ගතයුතු ය. වම් අත සාමාන්‍යය පරිදි පහසුවෙන් සිටීමේදී මෙන් තබා ගත යුතුය.
සීරුවෙන් හා පහසුවෙන් සිටින විට සීරුවෙන් සිටිමින් පහසුවෙන් සිටීමේ ඉරියව්වටත්, පහසුවෙන් සිටිමින් සීරුවෙන් සිටීමේ ඉරියව්වටත්, පැමිණෙන සෑම විටකම, වම් කකුළ පමණක් චලනය කිරීම අනිවාර්ය වේ. “සිටින්” විධානයේ “න්” ශබ්ධ වු වහාම අදාල ඉරියව්ව සදහා සිරුර චලනය කිරීම, බාලදක්ෂයින්ට ගැලපෙන හුරුබුහුටිකම රැකෙන ආකාරයේ එකක් විය යුතුය. හමුදා කණ්ඩායමක දැඩි රිද්මය බාලදක්ෂ කණ්ඩායමක එලෙසින්ම තිබීම බලාපොරොත්තු නොවිය යුතුය.

වමට දකුණුට හැරීම #

වමට හා දකුණට හැරෙන සෑම විටම බාලදක්ෂයින් සීරුවෙන් සිටිය යුතුය. හැරෙන පැත්තේ කකුලේ විළුඹ තදින් පොළොවට ස්පර්ශ කල යුතුය. ඒත් සමඟම එම පාදයේ ඉදිරි කොටස සැහැල්ලූවෙන් තබා ගත යුතුය. අනෙක් පාදයේ විලුඹ පොළොවෙන් නිදහස් වියයුතු අතර, ඇඟිලි සහිත කොටස පොළොව හා තදින් ස්පර්ශ විය යුතුය. අංශක 90 කෝණයකින් පාද චලනය කල යුතුය. විධානයට අනුව හැරුණු පසු සීරුවෙන් සිටීමේ ඉරියව්වට පැමිණිය යුතුය.

බාලදක්ෂ ලොග් පොත #

කාලීන සටහන් ලිවීම සඳහා පෞද්ගලික බාලදක්ෂ ලොග් පොත බාලදක්ෂ ආචාර්ය වරයාගේ උපදෙස් අනුව ආරම්භ කළ යුතු ය. ලොග් ‍පොත පිළිපඳ ලිපියක් මෙම වෙබ් අඩවියේ වෙනම පල කරනු ඇත.

යහපත් පුරුදු (01) #

බාලදක්ෂ පොරොන්දුව අනුව දිනපතා යහපත් ක්‍රියාවක නිරත වීම. අන්‍යන්ට උපකාර කිරීමට තමන්ට ලැබුණු අවස්ථාවකදී ක්‍රියා කළ ආකාරය පිළිබඳ බාලදක්ෂ ආචාර්යවරයාට වාචිකව විස්තර ඉදිරිපත් කිරීම, මෙයින් බලාපොරොත්තු වේ.
(සෑම දිනකම රාත්‍රී නින්දට යාමට පෙර එම දිනයේදී ඔබ විසින් සිදුකළ යහපත් ක්‍රියාව පිළිබඳ කල්පනා කරන්න. යම් දිනයක දී තමන් හට යහපත් ක්‍රියාවක් සිදු කිරීමට නොහැකි වූවානම් ඊලඟ දිනයේ දී යහපත් ක්‍රියා දෙකක් කිරීමට උත්සහ කරන්න.)

=============================

මා විසින් සහ හිටපු බාලදක්ෂ සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) අරවින්ද හිරාන් පතිරගේ මහත්මා ප්‍රධාන බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් විසින් රැස් කරගන්නා ලද කරුණු ද, ජාතික බාලදක්ෂ මූලස්ථානය මඟින් සම්පාදිත බාලදක්ෂ විෂය නිර්දේශය සහ පුහුණු අත්පොත් මෙන්ම අනෙකුත් ආශ්‍රිත ග්‍රන්ථ ද, අන්තර්ජාලය ද ගවේශනය කොට මෙම ලිපිය සකසන ලදි.

නුවන් ජීවන්ත – සහය දිසා කොමසාරිස්

=============================

මෙම ලිපිය පිලිබඳ ඔබේ අදහස් පහතින් Comment කරන්න.

Powered by BetterDocs

Leave a Reply