බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය – ලිපි අංක 01 – නිර්මාතෘවරයා

Table of Contents
අවශ්‍යතා : 21 යි
ප්‍රවීණතා පදක්කම් : 01 (කඳවුරු ශිල්ප හා මහජන සේවා කාණ්ඩ හැර වෙනත් කාණ්ඩ වලින් තෝරා ගත යුතුයි.)
සේවා කාලය : සාමාජික පදක්කමෙන් පසු මාස 06 යි.
වයස අවු. 18 ට පෙර දිනාගත යුතුයි.

නිර්මාතෘවරයා #

ලොව පුරා විහිදී සිටින බාලදක්ෂයින් බී.පී. යන ආදර නාමයෙන් හඳුන්වන ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවල් සාමි තුමන් බාලදක්ෂ ව්‍යාපාරයේ ආදි කර්තෘ තුමන් ය.1857 පෙබරවාරි මස 22 වෙනි දින එංගලන්තයේ දී උපත ලද මෙතුමන්ගේ පියා මහාචාර්ය එච්. ජී. බේඩ්න් පවල් හා මව හෙන්රියෙටා ග්‍රේස් ස්මිත් නම් විය. පවුලේ දරුවන් නව දෙනෙකි. බී.පී. තුමන්ට වයස අවුරුදු තුනේ දී මෙතුමන්ගේ පියා මිය ගියේ ය.
ටන්බ්‍රිජ් වේල්ස් හි “රොස් හිල්” පාසලෙන් මූලික අධ්‍යාපනය ලද බී.පී. තුමන් වයස අවුරුදු 13 දී “චාර්ටර් හවුස්” විද්‍යාලයට ඇතුළත් විය. නමුත් ඔහු ඉගෙනුමට එතරම් දක්ෂයෙකු නොවීය. කුඩා කළ සිට තම සොහොයුරන් සමග කඳවුරු පැවැත්වීම, දුෂ්කර ගමන් යාම, කඳු නැගීම, බෝට්ටු සෑදීම හා බොට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රීඩාවල යෙදීම සහ ක්‍රියාශීලී ළමයෙකු වශයෙන් පාසල් ජීවිතයේ දී පාපන්දු ක්‍රීඩාවට, චිත්‍ර ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතාවයක් පෙන්වීය.

වයස අවුරුදු 19 දී පාසල් ජීවිතය අවසන් කර, යුධ හමුදාවට බැඳී උප ලුතිනන් වරයෙකු වශයෙන් ඉන්දියාව‍ට ගියේ ය. 1887 දී අප්‍රිකාවේ සුලූවරුන්, නපුරු අශාන්ති ගෝත්‍රිකයින් හා වනචාරී මැටබෙලේ සටන්කාමීන්ට ද විරුද්ධ ව සටන් මෙහෙයවීය. මෙම සටන් වලදී මෙතුමන් දැක්වූ පුදුමාකාර දක්ෂතාවයන් නිසා, “කිසි දිනක නොනිදන වෘකයා” යන අදහස ඇති “ඉම්පීසා” නම් අතුරු නමක් ද පට බැඳිනි. මෙම සටන් වලදී සූලූ නායක “ඩිනිසූලූ” සමග සටන් කර, ඔහු කර බැඳි සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලය ලබා ගැනීම වැදගත් කොට සැලකිය හැකි ය.

1889 දී බී.පී. කරනල් වරයෙකු වශයෙන් උසස්වීමක් ද ලැබීය. 1899 දකුණු අප්‍රිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකූ “මැෆකින්” නගරය පුරා දින 217 ක් වටලාගෙන සිටි සතුරු බෝයර්වරුන්ගෙන් ආරක්ෂා කර, “මැෆකින්” බේරා ගන්නා ලදි. මේ සඳහා යුද කටයුතු වලදී පණිවුඩ ගෙන යාම සඳහා ළමුන්ගේ සහය ලබා ගන්නා ලදි.

මැෆකින් බේරා ගැනීම

මේජර් ජෙනරාල් වරයෙකු වශයෙන් 1901 දී අප්‍රිකාවෙන් එංගලන්තයට පැමිණි බී.පී. සොල්දාදුවන් සඳහා ලියන ලද “බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්” නම් වූ පොත ළමුන් අතර ජනප්‍රිය වීම නිසා, එය පාසල් වල පාඨ ග්‍රන්ථයක් ලෙස භාවිතා විය.
1907 දී ළමුන් 20 දෙනෙක් සමග එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ දී පළමු අත්හදා බැලීමේ බාලදක්ෂ කඳවුර පැවැත්වී ය. 1908 දී “Scouting for Boys” (බාලදක්ෂ විද්‍යාව) පොත දෙසතියකට වරක් වෙළුම් හයක් ලෙස කොටස් වශයෙන් පළ කරන ලදි. 1909 දී පළමු බාලදක්ෂ රැළිය “ක්‍රිස්ටල් පැලස්” හීදී පවත්වන ලදි. එමෙන් ම එම වසරේදීම බාලදක්ෂිකා ව්‍යාපාරයද ආරම්භ විය. 1910 දී මුහුදු බාලදක්ෂ අංශය ආරම්භ විය.

බී.පී. තුමන් 1910 දී හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි. 1912 දී බී.පී. තුමන් ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝමස් මෙනෙවිය සමඟින් විවාහ විය. 1916 දී පෝතක බාලදක්ෂ අංශය “වෘක පෝතක බාලදක්ෂ අංශය” නමින් ආරම්භ විය. 1918 දී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය නම් කෙරිණි. 1919 දී “ගිල්වෙල් උද්‍යානය” බාලදක්ෂ ව්‍යාපාරයට පරිත්‍යාගයක් ලෙස ලැබිණි. එහි ලොව පළමු ලී පදක්කම් පුහුණු පාඨමාලාව පවත්වන ලදි.

ලොව පළමු බාලදක්ෂ ජම්බෝරිය 1920 දී ලන්ඩන් නුවර “ඔලිම්පියා” හීදී පවත්වන ලද අතර එහිදී බී.පී. ලොව ප්‍රධාන බාලදක්ෂයා ලෙස නම් කෙරිණි.

ප්‍රථම බාලදක්ෂ රැලිය
ප්‍රථම බාලදක්ෂ රැලිය

1925 දී ආබාධිත බාලදක්ෂ අංශය ආරම්භ වූ අතර 1929 දී පස් වන ජෝර්ජ් රජතුමා විසින් බී.පී ට, ගිල්වෙල් හී බේඩ්න් පවල් සාමි යන වංශාධිපති නාමය පිරිණමන ලදි.

එදා සිට අද දක්වා සුවහසක් දරුවන් හට බාලදක්ෂ ලෝකය විවර කර දුන් ආදරණීය පියෙකු වූ බී.පී. තුමන් 1941 ජනවාරි 08 වන දින කෙන්යාවේ “නියේරි” හිදී ස්වර්ගස්ථ විය.

බීපි තුමන්ගේ අභාවය
බීපි තුමන්ගේ අභාවය

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය #

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 වසරේ දී  මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ස්වර්ණමය ඉතිහාසය හා ආදිකතෘ දිනය ලෙස ජුනි 01 දා සලකනු ලැබේ.

එෆ්.ජී. ස්ටීවන්සන් මහතා (ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ)
එෆ්.ජී. ස්ටීවන්සන් මහතා (ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ)


1907 දී 
එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. එය සදහා ඔහු තම ඉංජිනේරු නිල නිවසට යාබඳව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය තෝරා ගත්තේ ය. මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ විදුහල්පති ඩී. ඇල්ප්‍රඩ් ජයසිංහ මහතා සමග ද සාකච්ඡා කොට නියම කරගත් දිනක දී විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් අමතා බේඩන් පවල් සාමිවරයා හා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව තමා දන්නා අන්දමින් කරුණු ඉදිරිපත් කරමින් දේශණයක් ද පවත්වනු ලැබිණ. මෙම දේශණයෙන් පසු පාසලේ සිසුන් තුළ මෙන්ම  ආචාර්ය මණ්ඩලය තුළ ද බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව උනන්දුවක් ඇති වූ බව පාසල් ඉතිහාසයෙහි වාර්තා වී තිබේ. එම දේශණාවෙන් ඔද වැඩුණු සිංහල, දෙමළ, මුස්ලිම් හා  බර්ගර්  ජාතික සිසුන් 07 දෙනෙකු ජාති ආගම් භේදයෙන් තොර ව මෙතෙක් කිසිවෙකුත් නො දත් මේ නව වැඩසටහනට ඇතුලත්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව ඇත. තම්බෝ නඩරාජා, පීටර් බෝලින්, ආර්. ඩී. කොටුවේගෙදර, ආර්. බී. කපුවත්ත, ඒ. එම්. හමීඩ්, එම්. සහබ්ඩීන් සහ ජෝන් කරුණාරත්න යන සිසුන් 07දෙනා මේ පිරිසට අයත් විය. ලංකාවේ ප්‍රථම බාලදක්ෂයින් ලෙස  බාලදක්ෂ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ රෝපණය කිරීමේ මුල් පියවර මෙසේ ආරම්භ විය.

ලංකාවේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම
ලංකාවේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම
මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම

එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. මුල් බාලදක්ෂ කණ්ඩායමට එවකට රජයේ හා යුධ නිලධරයන් බොහෝ ගණනකගේ සහය ලැබුණ බව පැරණි වාර්තා වල දැක්වේ. 1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු හෙයින් එතැන් සිට ක්‍රිස්තුදේව විද්‍යාලයට එතුමාගේ සේවය අහිමි විය. 1915 වනවිට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248ක් සිටි බව සංගණන වාර්තා වල සදහන් වේ. බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914 දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.

ස්ටීවන්ස් මහතා බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය අාණ්ඩුකාර උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ.

ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපති වූ විලියම් ගොපල්ලව මහතාද, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දයා රෝහණ අතුකෝරාළ මහතා ඇතුළු කීර්තිමත් බාලදක්ෂයින් විශාල ප්‍රමාණයක් මෙම ලංකාවේ පළමු බාලදක්ෂ කණ්ඩායම විසින් දැයට දායාද කර ඇත.

බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව ලංකාව පුරා දැනුවත් කිරීමේ අරමුණින් සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් (Ceylon Independence) පුවත්පතෙහි සතිපතා බාලදක්ෂ ප්‍රවෘත්ති තීරයක් වෙන් කරගැනීමට ද පසු ව The Ceylon Scout නමින් ප්‍රථම නිල පුවත්පත නිකුත් කිරීමට ද එතුමාට හැකි විය. මෙම පුවත්පත් මඟින් මෙන් ම අනෙකුත් ජාතික පුවත්පත් මඟින් ද ව්‍යාපාරයේ අරමුණු හා ප්‍රතිපත්ති එළිදක්වමින් ද බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස බැඳෙන ලෙස ඉල්ලා එකල සිරිලක ප්‍රභූන් වෙත ආයාචනය කරමින් ද ලිපි පළ කරන ලද්දේ ය. මේ සඳහා බී. එ්.ආර්. හියුස් මහතාගේ දායකත්වය අතිමහත් වේ. ගරු ජේ. ටී. ස්මෝල් (Rev.J.T.Small) දේවගැතිතුමාගේ ද ජේසු නිකායික ගරු සී. රිචඞ් (Rev.C.Reichard) පියතුමාගේ ද රජයේ රස පරීක්ෂක සී. ටී. සීමන්ස් (C.T.Symonds) මහතාගේ ද සහයෝගය එතුමාට ලැබිණ. 1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. “සුදු රාජාලියා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මෙතුමාට එහි සේවය කළ හැකි වූයේ වසර 20 ක් පමණි.

කොළඹ හැව්ලොක් තුරග තරග පිටියෙහි 1917 දී පැවති සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ බටහිර දිසාරැළිය  මෙරට බාලදකෂයින්ට නවමු අද්දැකීමක් විය. මේ වන විටත් යටත්විජිත ආණ්ඩුව විසින් මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ අතර යුද සේවය නිමා වූ වහා ම ලංකාවට පැමිණ යළි බාලදක්ෂ කටයුතු කෙරෙහි අවධානය යොමු කළේ ය. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය. නව වසරක රාජකාරියෙන් පසුව ලද නිවාඩුවෙන් පසු එංගලන්තයට ගිය එතුමා ග්ලැඞ්ස් ක්‍රොක්වෙල් (Gladys Crockwell) මෙණෙවිය හා විවාහ වී 1920 දී යළිත් ලංකාවට පැමිණියේ ය. ඒ් වන විට ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි පසු බිම බෙහෙවින් වෙනස් වී තිබිණ. 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවති රැළියෙන් අනතුරු ව බොහෝ හැල හැප්පීම් මධ්‍යයේ යටත්විජිත කොමසාරිස් ධුරයෙන් ඉවත් වූ අතර බොහෝ කණස්සල්ලෙන් ද සිටි බව වාර්තා වේ. පසුව මෙතුමා නැවත 1939 දී ගිහි සංගමයේ සභාපතිත්වයට පත්විය. මෙම වකවානුවේ දී ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් එතුමා ගරු ප්‍රධාන කොමසාරිස් වශයෙන් ද පත් කරන ලැබිණ. ඒ් අනුව ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු ප්‍රධාන කොමසාරිස් වරයා වන්නේ ද මෙතුමා ය. කෙසේ හෝ ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩාම පෙර තිබු උද්යෝගයෙන් අඛණ්ඩ ව පවත්වාගෙන ගොස් ඇති බව එම කණ්ඩායමේ පැරණි ලොග් සටහන් වලින් පෙනේ. 1940 වර්ෂයේ දී  එෆ්. ජී. ස්ටීවන්ස් මහතා එම කණ්ඩායම නැරඹීම සදහා ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පැමිණි අතර එය විද්‍යාලීය බාලදක්ෂ ලොග් පොතේ අත්සන් සහිත ව සටහන් තබා තිබේ. 1940.07.30 දින තබන ලද ලොග් සටහනකින් කියවෙන්නේ එතුමාට ගෞරව පිණිස එදින පාසලේ දරුවන් අමතා කතා කිරීමට ද එතුමාට අවස්ථාව ලබා දී ඇති බව ය.

ශ්‍රී ලාංකීය ප්‍රථම බාලදක්ෂ කොමසාරිස් මෙන් ම ක්‍රිස්තු දේව බාලදක්ෂ සමූහයේ නිර්මාතෘතුමා වශයෙන් ද එතුමා සිහිකිරීම පිණිස එම විද්‍යාලෙයහි ඉදිකල බාලදක්ෂ උයනෙහි එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ උඩුකය ප්‍රතිමාවක් ද ඉඳිකර තිබේ. එතුමන් වෙනුවෙන් ලංකාවේ ඉදි වූ ඒකම සිහිවටන ප්‍රතිමාව ද මෙය වේ. මෙම නිර්මාණය මාතලේ හිටපු බාලදක්ෂ කොමසාරිස් රෙජිනෝල්ඩ් විල්සන් මහතාගේ ය.

රට පුරා පැවති සියළු ම බාලදක්ෂ ගිහි සංගම්වලට යමින් සහ ඒවායේ පවතින අඩුපාඩු අවම කර ගැනීමට සහාය වෙමින් බාලදක්ෂ මූලධර්ම අනුව ම බාලදක්ෂ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නායකයන්ට උපදෙස් දෙමින් ද 1945 වසරේ දී නැවත එංගලන්තය බලා යන තුරු ම ඉතා ප්‍රශංසනීය ආදර්ශවත් සේවාවක් කරන්නට එතුමාට හැකි විය.

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වැදගත් සිදුවීම් #

  • 1915 – මුල්ම බාලදක්ෂ සංගණනය. (බාලදක්ෂයින් / නායකයින් 248)
  • 1916 – පෝතක බාලදක්ෂ අංශය ආරම්භ වීම.
  • 1917 – පළමු බාලදක්ෂ රැළිය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වීම.
  • 1918 -මුහුදු බාලදක්ෂ අංශය ආරම්භ වීම.
  • 1920 – පළමු බාලදක්ෂ ජම්බෝරියට තේනුවර මහතා සහභාගි වීම.
  • 1921 – B.P තුමා හා ආර්යාව පළමු වරට ලංකාවට පැමිණීම.
  • 1924 – පළමුවන ලී පදක්කම් පාඨමාලාව මෝදරදි පැවැත්වීම.
  • 1931 – කළුතර ද සේරම් බාලදක්ෂ ජනපදය ඇරඹීම.
  • 1934 – B.P තුමන් දෙවන වර ලංකාවට පැමිණීම.
  • 1945 – රුපියලේ වැඩ ව්‍යාපාරය ආරම්භ වීම.
  • 1952 – පළමු ජාතික ජම්බෝරිය පැවැත්වීම
  • 1955 – ශ්‍රී ලංකාව ලෝක බාලදක්ෂ සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගැනීම.
  • 1957 – ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නීතිගත කිරීම.
  • 1962- පළමු බාලදක්ෂ මුද්දරය නිකුත් වීම.
  • 1975 පළමු ජාතික කබෝරිය පැවැත්වීම.
  • 1990 – පළමු සාක් ජම්බෝරිය පැවැත්වීම.
  • 1991 – ප්‍රථම ජාතික ඉන්ඩාබා සමුළුව පැවැත්වීම.
  • 2001 – ශ්‍රී ලංකා රැජිණ හා ජනාධිපති බාලදක්ෂ සංසදය ඇරඹීම.

සමස්ත ලංකා බාලදක්ෂ රැලි #

  • 1917 – පළමුවන සමස්ත ලංකා රැලිය, හැව්ලොක් රේස් පාඨමාලාව, කොළඹ,
  • 1918 – 2 වන සමස්ත ලංකා රැලිය, බැරැක්ක, මහනුවර,
  • 1919 – 3 වන සමස්ත ලංකා රැලිය, මහනුවර,
  • 1921 – 4th All Ceylon Rally, හැව්ලොක් රේස් පාඨමාලාව, කොළඹ, (බී.පී.තුමාගේ පැමිණීම)
  • 1922 – 5 වන සමස්ත ලංකා රැලිය, මහනුවර, (වේල්ස් කුමරුගේ නැගෙනහිර සංචාරය 23 මාර්තු 1922)
  • 1924 – 6 වන සමස්ත ලංකා රැලිය, කොළඹ, (බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර විලියම් මැනිංගේ උතුමාණන්ගේ සමුගැනීමේ උත්සවය)

ජාතික බාලදක්ෂ ජම්බෝරි #

  • 1952 – පළමු ජාතික ජම්බෝරිය – කොළඹ
  • 1962 – දෙවන ජාතික ජම්බෝරිය – කොළඹ
  • 1985 – තෙවන ජාතික ජම්බෝරිය – අනුරාධපුරය
  • 1992 – සිව්වන ජාතික ජම්බෝරිය – කුරුණෑගල
  • 1998 – පස්වන ජාතික ජම්බෝරිය – මහනුවර
  • 2002 – සයවන ජාතික ජම්බෝරිය – ගාල්ල
  • 2006 – හත්වන ජාතික ජම්බෝරිය – නුවරඑළිය
  • 2010 – අටවන ජාතික ජම්බෝරිය – හම්බන්තොට
  • 2016 – නමවන ජාතික ජම්බෝරිය -යාපනය

ජාතික බාලදක්ෂ කබෝරි #

  • 1975 – පළමු ජාතික කබෝරිය – ගාල්ල
  • 1984 – දෙවන ජාතික කබෝරිය – කොළඹ
  • 1986 – තෙවන ජාතික කබෝරිය – ගාල්ල
  • 1995 – සිව්වන ජාතික කබෝරිය – කළුතර
  • 1996 – පස්වන ජාතික කබෝරිය – වත්තල / ජා ඇල
  • 2000 – සයවන ජාතික කබෝරිය – මීගමුව
  • 2004 – හත්වන ජාතික කබෝරිය – මහනුවර
  • 2007 – අටවන ජාතික කබෝරිය – ගාල්ල
  • 2010 – නමවන ජාතික කබෝරිය – අඟුණුකොලපැලැස්ස
  • 2013 – දසවන ජාතික කබෝරිය – වත්තල / ජා ඇල
  • 2016 – එකළොස්වන ජාතික කබෝරිය – ගාල්ල

ශ්‍රී ලංකාවේ පැවති සාක් ජම්බෝරි #

දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්‍ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතා ජම්බෝරි කීපයක් ම මේ වන විට පවත්වා අැත.

  • 1990 – පළමු සාක් ජම්බෝරිය – කොළඹ
  • 2000 – දෙවන සාක් ජම්බෝරිය – නුවරඑළිය

ශ්‍රී ලංකාවේ පැවති ආසියා පැසිපික් කලාපීය ජම්බෝරි #

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100ක් ගත වන 2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ් වෙනුවෙන් සියවස ජම්බෝරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ කණ්ඩලම ඩී.එස්.සේනානායක පිටියේ දී පැවැත් විය. 29 වැනි ආසියා පැසිෆික් කලාපීය ජම්බෝරිය රටවල් 20 බාලදක්ෂයින් සහභාගී වූහ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අයත්වන ආසියා පැසිෆික් කලාපීයරටවල බාලදක්ෂයන් විසින් පවත්වන කලාපීය ජම්බෝරි 30 මේ වන විට පවත්වා ඇත.

  • 2012 – 29වන කලාපීය ජම්බෝරිය – දඹුල්ල

ජාත්‍යන්තර ජම්බෝරි #

ලෝක බාලදක්‍ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ජම්බෝරි කීපයක් ද අැත.

  • ගුවන් ජම්බෝරිය jamboree on the air ( JOTA)
  • අන්තර්ජාල ජම්බෝරිය jamboree on the internet (JOTI)
  • කෙටිපණිවිඩ ජම්බෝරිය jamboree on the sms (JOTS)

ලෝක බාලදක්ෂ ජම්බෝරි #

ලෝකයේම බාලදක්ෂයින් වෙන්වෙන් පැවැත් වූ පළමු ජම්බොරිය වන්නේ බී.පී.තුමාගේ ප්‍රධානත්වයෙන් 1920දී ලන්ඩන් නුවර ඔලිම්පියාහි පැවැත් වූ පළමු ජම්බෝරියට ලෝකයේ රටවල් 34කින් බාලදක්ෂයින් 8,000ක් සහභාගී වූහ. අවසන් වරට පැවැත් වූ 23 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2015දී ජපානයේදී පැවැත්විය. ඒ සඳහා රටවල් 216ක් නියෝජනය කරමින් ලොව පුරා බාලදක්ෂයින් 32000ක් මෙවර ජම්බොරියට එක්වූහ.

ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමය #

සිඟිති අංශය #

01. සාමාජික පදක්කම්
sigithi-membership
02. සතුට පදක්කම
සතුට පදක්කම
03. දිනුම පදක්කම

පෝතක අංශය #

01. සාමාජික පදක්කම්
CUB-membership
02. ලෝකඩ තරුව
ලෝකඩ තරුව
03. රිදී තරුව
රිදී තරුව
04. රන් තරුව
රන් තරුව

බාලදක්‍ෂ අංශය #

01. ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම

කනිෂ්ඨ
ජ්‍යෙෂ්ඨ
02. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
scout-masters-award
03. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
group-scout-masters-award
04. දිසා කොමසාරිස් ප්‍රදානය
dc-award
05. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය ප්‍රදානයක් නොවේ)
chief-com-award
06. වනවාසියාගේ රැහැන
booshman-award
07. ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය

මානවක අංශය #

01. සාමාජික පදක්කම්
02. සේවා තරු
03. බී.පී.ප්‍රදානය

ප්‍රවීනතා පදක්කම් #

විවිධ විෂය ක්ෂේත්‍ර යටතේ බාලදක්ෂයින් හට ප්‍රවිනතා පදක්කම් විෂය නිර්දේශයක් ජාතික බාලදක්ෂ මූලස්ථානය මඟින් හඳුන්වා දී ඇති අතර, ඇතැම් පදක්කම් ප්‍රගති පදක්කම් මාර්ගයේ අනිවාර්ය පදක්කම් ලෙස නම් කර ඇත. එම පදක්කම් වලට අමතරව ද බාලදක්ෂයින් හට ප්‍රවීනතා පදක්කම් දිනා ගැනීමට හැක.

බාලදක්‍ෂ නිලඇදුම #

අතීතයේ භාවිත වූ ලෝක බාලදක්‍ෂ නිලඇදුම අප්‍රිකාවේ පොලිස් හමුදාවේ නිල ඇඳුමට බෙහෙවින් සමාන වූ බව පැවසේ. වර්තමානයේ ලොව පුරා විසිරී සිටින බාලදක්‍ෂයන් විවිධ වර්ණයේ නිල ඇඳුම් බාවිතා කරනු ලැබූවද ඔවුන් පළදික ලෝක බාලදක්ෂ පදක්කම සැම අතින්ම එක සමාන වේ. නිල ඇදුම ඒ ඒ රටවලට යෝග්‍ය වන ආකාරයෙන් නිදහස්ව කටයුතු කිරීමට හැකි වනසේ පිළියෙළ වූ සුව පහසු ඇඳුමක් බවට පරිවර්තනය වී ඇත.

  • බෙරට් හිස් වැස්ම
  • කර ‍‍‍‍ලේන්සුව
  • බාලදක්ෂ කමිසය
  • කොට කලිසම/දිග කලිසම
  • කලු පැහැති පොලිෂ් කරන සපත්තු

සිඟිති අංශය #

සිඟිති අංශය නිල ඇඳුම
සිඟිති අංශය නිල ඇඳුම

පෝතක අංශය #

Cub boy

බාලදක්ෂ අංශය #

jscout_uniform
කනිෂ්ඨ බාලදක්ෂ නිල ඇඳුම

 

sscout_uniform
ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නිල ඇඳුම

මානවක අංශය #

rover-uniform
මානවක අංශය නිල ඇඳුම

ලෝක බාලදක්ෂ ව්‍යාපාරය හා සාමාජිකත්වය #

ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය(WOSM) #

ලෝක බලදක්ෂ සංවිධානය #

ලොව විශාලතම තරුණ සංවිධානය හා රාජ්‍ය නෙවන සංවිධානය ලෙස ලෝක බාලදක්ෂ සංවිධානය හැදින්විය හැක (World Organization of the Scout Movement). මෙයට ලොව පුරා ජාතික සංගම් 216 ක පමණ පැවතියත් ලෝක බාලදක්ෂ සංවිධානය විසින් පිලිගෙන ඇතතේ ඉන් 162 කකට ආසන්න ජාතික සංගම් ප්‍රමාණයක් පමණි.එහි මිලියන 40කට ආසන්න පිරිසක් තම රටවල ඇති ජාතික සංගමයන් ඔස්සේ සමාජිකත්වය ලබාගෙන සිටි.මෙහි කෙටි නාමය WSOM ලෙස හදුන්වන අතර 1922 වසරේ දී ස්විට්ස්ර් ලන්තයේ ජිනිවා නගරය කේන්ද්‍ර කරගනිමින් මුලස්ථනය ආරම්භකරන ලදි.නමුත් වර්ථමානයේ දී මෙම ආයතනයේ මුලස්ථානය පිහිටා ඇත්තේ මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවය.ආරම්භයේ සිටම WSOM හි අනුබද්ද ආයතනයක් ලෙස ලෝක බාලදක්ෂිකා සංගමය(World Association of Girl Guides and Girl Scouts –WAGGGS). ද පවත්වාගෙන යනු ලැබිය.

WSOM සතු මූලික ම වගකිම වනුයේ බාලදක්ෂ පෙරොන්දුව හා නිතිය යන අගයන් මත පදනම් වු ස්වයං පරිසමාප්ත පුද්ගලයන් වශයෙන් සමාජයට ඵලදායි කාර්යභාර්යක් ඉටුකරමින් යහපත් ලොවක් ගොඩනැගිම සඳහා සහය විමට අවශ්‍ය වන තරුණ මිනිසුන් උදෙසා වන අධ්‍යාපන මෙහෙවරක යෙදිමයි.

WSOM ආයතනය WAGGGS සමග එක්ව සෑම අවුරුදු 4කටම වරක් ලෝක බාලදක්ෂ ජැම්බරි, (බාලදක්ෂයන් උදෙසා) ලෝක මානවක සමුලු(Rover Moot)හා නායකයන් උදෙසා ජාත්‍යන්තර ඉන්ඩාබා කඳවුරැ සංවිධානය කරනු ලැබේ.එසේම ස්ව්ට්සර්ලන්තයේ පිහිටි Kandersteg International Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානය. Cairo International Scout Centre ඊජිප්තුවේ පිහිටි ජාත්‍යන්තර මධ්‍යස්ථනය,දකුණු ඇමෙරිකාවේ චිලි හි පිහිටා ඇති Picarquín World Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථාන හි පාලන කටයුතු ද සිදුකරනු ලබයි.

ලෝක බාලදක්ෂ සමුලුව – World Scout Conference(WSC) #

මෙය බාලදක්ෂ ව්‍යාපාරයේ මහාසභාව ලෙස හැදින්විය හැක.සෑම වසර 3කට වරක්ම ලෝක තරුණ බාලදක්ෂ සමුලුව පැවැත්විමෙන් පසුව රුස්වේ.මේ තුල WSOMහාWAGGGS කලාප 6 යට අයත් සාමාජික සංගම් වලින් නි‍යෝජිත වරු තෝරා පත්කරගනු ලැබේ.යම් රටක බාලදක්ෂ සංගම් එකකට වඩා පැවතියහොත් එම සංගම් දෙක සහයෝගයෙන් ක්‍රියා කරමින් WSL සඳහා නියෝජිතයන් තොරා යැවිම සිදුකලය යුතුය.

වසර 3කට වරක් WSOM හි සාමාජික රටක මෙම සමුලුව පවත්වනු ලැබේ.එම රට සමග එක්ව සම සම්බන්දීකරනයක් පවත්වා ගනිමින් මෙය සංවිධානය කිරිමට ලෝක බාලදක්ෂ සංවිධානය බැදි සිටියි.

ලෝක බාලදක්ෂ කමිටුව – World Scout Committee #

මෙය ලෝක බාලදක්ෂ සමුලුවේ විධායක සභාව වන අතර මේ සදහා ස්වෙච්චා සාමාජිකයන් අතර පවත්වන ඡංදයකින් පසු නිලතල සදහා පුද්ගලයන් තෝරා පත්කරගනු ලැබේ.මෙහි වගකිම් වනුයේ ලෝක බාලදක්ෂ සමුලුවේ දි ගනු ලැබු තින්දු තීරණ ආදි ක්‍රියාත්මක කිරිමයි.මෙම සභාව වසරකට දෙවතාවක් රුස්වේ.එයට අමතරව අත්‍යවශ අවස්ථාවල දි සභාපති,උප සභාපති වරැ දෙදෙනා,හා මහලේකම් වරයාගෙන් සමන්වි විශේෂ මෙහෛයුම් කමිටුව රැස්වී අවශ්‍ය තින්දු තීරණ ගනු ලබයි.
කමිටුවේ මලු නිලධාර් මණ්ඩලය 14 ක වන අතර ඉන් 12 දෙනෙකු විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරමින් පැමිනි සාමාජිකයන් තුලින් ඡංදයක් පවත්වා වසර 3ක කාල සීමාවකට තෝරා පත්කරගනු ලබයි.නමුත් ඔවුන් තම රටේ අවශ්‍යතා නොව ව්‍යාපාරයේ අවශයතා නියොජනය කරයි.නමුත් මහලේකම් වරයා හා භාණ්ඩාගාරික වරයා WSOM හි පත්වු නිලධාරින් දෙදෙන ම වේ.එසේම කලාප වල පිහිටුවා ඇති කමිටුවල සභාපති වරුන් මෙම ලෝක බාලදක්ෂ කමිටුවේ උපදේශක මට්ටමේ නිලධාරින් ලෙස සහභාගි විය හැක.

ලෝක බාලදක්ෂ කාර්යංශය – World Scout Bureau #

  1. යුරෝපා කලාපය.
  2. අරාබි කලාපය.
  3. අප්‍රකානු කලාපය.
  4. ආසියා පැසිපික් කලාපය. (ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි.)
  5. ඇමරිකානු කලාපය.
  6. යුරේසියානු කලාපය.

ඉතිරි කිරීමේ ගිණුම #

ඉතිරි කිරීම යනු අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයකි. කුඩා කල සිටම බාලදක්ෂ ඔබට ඉතිරි කිරීම හුරු කිරීම සඳහා බාලදක්ෂ විෂය නිර්දේශයේ අවශ්‍යතාවයක්  ලෙස ඉතිරි කිරීමේ ගිණුම ඇතුලත් කර ඇත. මෙම අවශ්‍යතාවය සඳහා ඔබට දැනටමත් ඉතිරිකිරීමේ ගිණුමක් ඔබේ දෙමාපියන් විසින් හෝ පාසලෙන් ආරම්භ කර ඇතිනම් එය හෝ එසේ නැතිනම් අලුතින් ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කළ යුතු වේ.
මෙය පදක්කමේ අවශ්‍යතාවයට පමණක් සීමා නොකර, ඔබට දෙමාපියන්ගෙන් ලැබෙන  සුලු මුදල් වලින් කොටසක් ඉතිරිකිරීමට පුරුද්දක් කරගන්න. එසේ කිරීමෙන් ටිකෙන් ටික ඔබේ ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය වැඩිවන අයුරු නිරීක්ෂණය කර ඔබට සතුටු විය හැක.

(Ref: https://www.scout.lk/, https://dinizuloo.blogspot.com/, https://en.wikipedia.org/wiki)
මෙම ලිපිය පිලිබඳ ඔබේ අදහස් පහතින් Comment කරන්න.

Powered by BetterDocs

This Post Has 2 Comments

    1. K.M.B.Sannasgala

      බෙහෙවින් ම ප්‍රයෝජනවත් විය.
      ස්තූතියි !🙏
      තවත් මෙවැනි දෑ කිරීමට සුබපතමි!
      ⚜️

Leave a Reply