බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය – ලිපි අංක 03 – ජාතික කොඩිය හා ජාතික සංකේත

මෙම ලිපිය බාලදක්ෂ ආචාර්ය වරයාගේ ප්‍රදානය ලිපි මාලාවේ 03 වන ලිපියයි. පෙර ලිපි මෙම ලිපිය අවසානයේ ඇති සබැඳි මඟින් ඔබට කියවීමට හැකියි.

ජාතික කොඩිය හා ජාතික සංකේත #

ජාතික කොඩිය #

ජාතික කොඩිය රටක අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ප්‍රධාන සංකේතයකි. හෙළ ජාතියේ හා මාතෘ භුමියේ ඓතිහාසික පසුබිම, ප්‍රෞඩත්වය,ස්වෛරීභාවය හා ස්වාධිනත්වය ඉන් පෙන්නුම් කෙරේ. එසේ ම ප්‍රතාපවත් දේශයක් ලාංකික උරුමයන් ඔප් නංවමින් සුළු ජනයා සමගින් බහුතර ජනතාවම එකමුතුව ජීවත්වන බව ජාතික ධජය මගින් නිරූපනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින් ද හැදින්වෙන අතර අතීතයේ සිංහ රූපයක් සහිත ධජයක් භාවිත කළ බවට ඓතිහාසික සාධක කිහිපයක් දැක්වේ. මීට අවුරුදු 2500කට පමණ පෙර ලංකා පුර නිවාස වල සිංහ ධජපතාක ලෙල දුන් බව රාමායණයේ දැක්වේ. ක්‍රි.පු 161-137 අතර දුටුගැමුණු රාජ්‍ය කාලයේ දී ක්‍රි.ව 1415 දී 6 වන පරාක්‍රමබාහු රජුගේ රාජාභිෂේක උත්සවයේ දී මෙන් ම 2 වන රාජසිංහ රජු සිහිපත් කිරීම සදහා ක්‍රි.ව 1657 දී ලන්දේසීන් විසින් පවත්වනු ලැබු උත්සවයක දීත් සිංහයකුගේ රූපයක් සහිත කොඩියක් ඔසවා ඇති බවට සාධක දැක්විය හැකිය.

එසේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සතුව පැවති ධජ 4න් තුනකම නිරූපනය වූයේත් සිංහ රූපයයි.මින් එක් ධජයක් ලන්ඩනයේ වයිට් හෝල් මැදුරේද අනෙක වෙල්සි යුධ රෝහලේ නැපෝලියන් අධිරාජයාගේ රාජාලි ධජය සමගද තැම්පත් ක ඇත.1802.මාර්තු.02 දින ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වෙද්දි වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් එසවුවේද මෙම ධජයයි. එතැන් පටන් බ්‍රිතාන්‍ය යූනියන් ජැක් ධජය ජාතික කොඩිය ලෙස භාවිත විය.

ශ්‍රී ලංකාව 1948 දී නිදහස් ජාතියක් බවට පත්වීමෙන් අනතුරු ව ස්ථාවර ජාතික කොඩියක අවශ්‍යතාව ඉස්මතු වීය. ඒ අනුව සුදුසු ජාතික කොඩියක අකෘතිය තීරණය කිරීම විවිධ ජාතීන් නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගන්නා ලදී.

1948 මාර්තු මස 6 වැනි දින ශ්‍රී ලංකාවේ අගමැතිව සිටි ඩී.එස් සේනානායක මහතා විසින් පත්කළ කමිටුව පහත පරිදි වේ.

  1. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ( සභාපති ).
  2. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ( ලේකම් ).
  3. සර් ජෝන් කොතලාවල මහතා .
  4. ටී. බී. ජයා මහතා.
  5. ජේ. ආර්. ජයවර්ධන මහතා.
  6. පොන්නම්බලම් රාමනාදන් මහතා.
  7. නඩේසන් මහතා.
  8. ලලිත් රාජපක්ෂ මහතා.

පාර්ලිමේන්තුවෙන් සම්මත වු මෙම කොඩිය ප්‍රථම වරට 1952 පෙබරවාරි 04 වැනි දින ඔසවන ලදී. එය 1953 දී හා 1972 දී වෙනස්කම් වලට භාජනය වූ අතර එම වර්ෂයේ දී ම ජාතික කොඩිය තුලට බෝ කොල සතරක් සෑම මුල්ලකටම පිහිටන අයුරින් ඇතුලත් කෙරිණි. ඒ සඳහා එවකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කල නිශ්ශංක විජේරත්න මහතා මූලිකත්වය දැරීය.

වත්මන් ශ්‍රී ලංකික ජාතික කොඩිය ජේ.ඩි.ඒ පෙරේරා මහතාගේ නිර්මාණයකි. ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී කොඩියේ වර්ණ-දිග-පළල සැලැස්ම SLS 6931, 1985 දරණ වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූලව කළ යුතුය.

ජාතික කොඩිය එසවීමේදී අනුගමනය කළ යුතු දේ: #

  1. ජාතික කොඩිය එසවෙන කුමන අවස්ථාවක වුවද පැහැදිළිව පෙනෙන ස්ථානයක ඔසවා උපරිම ගෞරවය ලබා දිය යුතුය.
  2. ජාතික කොඩිය එසවීමේදී සහ පහත හෙලීමේදී ගෞරවාන්විතව සෙමින් කළ යුතුය.
  3. සියළු දෙනාම කොඞියට මුහුණලා සිටිය යුතුය.
  4. කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ යුතුය.
  5. ජාතික කොඩිය ඔසවන අවස්ථාවේදී නිශ්ශබ්දතාවයෙන් නැගිට සීරුවෙන් සිටිය යුතුය.
  6. වෙනත් කොඞි සමග ජාතික කොඩිය ඔසවන්නේ නම් ජාතික කොඩිය ඉහළින්ම එසවිය යුතුය.
  7. කොඩි ගසක එසවිය යුත්තේ එක් ජාතික කොඩියක් පමණි.
  8. ජාතික ශෝක දිනයකදී ජාතික කොඩිය අඩකුඹු කොට දැක්විය යුතුය.

ජාතික කොඩියේ ඇති සංකේත වල අර්ථය. #

  1. කහ පාටින් වට වු මායිම – සිංහල ජාතියේ අවිහිංසාවාදී බව සහ ලන්දේසි, බර්ගර් සහ පෘතුගීසි ඇතුළු සියලුම සංස්කෘතික වලින් සිටින මිනිසුන් සමඟ එකට වාසය කරන බව.
  2. කොළ පැහැති තීරුව – මුස්ලීම් ජනවර්ගය.
  3. තැඹිලි පැහැති තීරුව – දෙමළ ජනවර්ගය.
  4. තද රතු පැහැති පසුබිම – බහුතර සිංහල ජනයාත් සිංහලයාගේ ජීව රුධිරය.
  5. බෝ කොළ – බෞද්ධ ජාතිය හා මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ හෙවත් සුචරිත ලක්ෂණ.
  6. සිංහයා – සිංහල ජනවර්ගය සහ ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය.
  7. සිංහයාගේ කඩුව – ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයාගේ බලපරාක්‍රමය.
  8. කඩුවෙ ඇති මිට – වාතය, ජලය, ගින්දර සහ පොළව යනාදියෙන් රට සමන්විත බව.
  9. සිංහයාගේ ඉදිරි පාද දෙක – සම්පත් පරිහරණයේ නිවැරදි බව.
  10. සිංහයාගෙ නාසය – බුද්ධිමත්කම.
  11. සිංහයාගෙ රැවුල – පවිත්‍ර වචන.
  12. සිංහයාගේ හිසෙහි ඇති රැලි ගැසු කෙස් – ආගමික පිළිවෙත්, ප්‍රඥාව සහ ධ්‍යානය.
  13. කෙස් අටක් ඇති සිංහයාගේ වලිගය – ආර්ය අෂ්ටාංගික මාර්ගය.

රාජ්‍ය ලාංඡනය #

රාජ්‍ය ලාංඡනය

වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.

ජනරජ දින උත්සවය සැමරීම සඳහා ජාතික ලාංඡනයක අවශ්‍යතාව මතු වූ අතර ජනරජය සඳහා ලාංඡනයක් සැකසීමට කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය සෙනරත් පරණවිතාන, එච්.ආර්.පෙ‍්‍රමරත්න, රෝලන්ඩ් සිල්වා, ආචාර්ය මැකී රත්වත්තේ සහ මහගමසේකර යන විද්වත් පිරිස එම කමිටුවේ සාමාජිකයින් වූහ.

එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්. එම්. සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේය. මේ ආකාරයට නිර්මාණය කළ රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේද උපදෙස් ලැබිණි.

රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත මගින් ප්‍රකාශ වන විවිධ අර්ථ. #

  1. ඉර සහ හඳ – චිර ජීවනය ,සමෘද්ධිමත් සහ ස්වයංපෝෂිත රටක් , ඉර හඳ පවතිනතාක් ධර්මයේ සහ ජාතීන්ගේ ආරක්‍ෂාව.
  2. සමන් වැල – නිර්මලත්වය.
  3. රතු පසුබිමක ඇති සිංහයා – සිංහලයාගේ ජීව රුධිරය සහ ජාතියේ අභීත බව.
  4. සිංහයා වටා ඇති නෙළුම් පෙති – පිවිතුරුබව හා උතුම්බව.
  5. සිංහයා කඩුවක් දරා සිටීම – ප්‍රෞඩත්වය.
  6. වී කරල් සහ පුන්කලස– සශ්‍රීකත්වය හා සෞභාග්‍යය.
  7. ධර්ම චක්‍රය – බහුතරයේ ආගම වූ බුද්ධාගමත් ධාර්මිකභාවය, සාධාරණත්වය සහ හික්මීම.
  8. මායිම් රේඛාව – ඒකීය රාජ්‍යයක් යටතේ පවතින බව.

ජාතික පුෂ්පය #

Nil-Manel-National-Flower-of-Sri-Lanka
Nymphaea stelata

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල විද්‍යාත්මකව Nymphaea stelata යන නමින් හඳුන්වයි. 1986 පෙබරවාරි 26 සිට නිල් මානෙල් මල ලංකාවේ ජාතික පුෂ්පය ලෙස තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

  1. රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීය
  2. බුදුන් වහන්සෙගෙ සිරි පතුලහි ඇති මගුල් ලකුනු වලින් එකක් වීම.
  3. උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම. (මේ දෙවිඳුන්ට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
  4. බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
  5. මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.

නිල් මානෙල් මල ශ්‍රී ලංකාව පුරා නොගැඹුරු ජලයේ ව්‍යාප්ත වී ඇත. නිල් පාටත් දම් පාටත් සංයෝග වී සෑදුණු පෙති සමුහයකින් හා රත්‍ පැහැයට හුරු කහ පාටින් යුතු කෙවියකින් සමන්විත තාරකාවක් බඳු නිල් මානෙල් මල ඉතා අලංකාර පුෂ්පයකි.

මෙය උදෑසන පිපී දවස පුරාම රැදෙන අතර පත්‍ර ඉතා තද කොළ පැහැතිය. මන බදින සුවදින් යුත් නිල් මානෙල් මල පිවිතුරු බවේ හා සත්‍යයේ සංකේතය ලෙසද ගෞරවය දිනා ඇත. ලොව අටවන පුදුමය ලෙස ගැනෙන සීගිරියේ ඇති බිතු සිතුවම් වල ඉන්නා සීගිරි අප්සරාවන් ගේ දෑත් ද නිල්මහනෙල් මලින් සැරසී ඇති බව පුරා විද්‍යඥයින් ගේ මතයයි. දේශිය වෛද්‍ය ඹෟෂධ නිෂ්පාදනයද මෙම මල යොදා ගනී. පරිසරයේ සිසිල් බව රැක දෙමින් , මන බදින්නා වූ සුමුසු සිසිලස විදහා දක්වමින් , විල් තලය මත විරාජමාන වූ නිල්මහනෙල් මල් රාජීණිය දැයේ අභිමානයයි.

ජාතික වෘක්ෂය #

Mesua nagassarium
Mesua nagassarium

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස Mesua nagassarium යන උද්භිත නාමයෙන් හැඳින්වෙන නා ගස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි.
ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.

  1. ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.
  2. ශාඛයේ ප්‍රයෝජනවත් බව.
  3. ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.
  4. බාහිර ස්වරූපය.
  5. පුළුල් ව්‍යාප්තිය.
  6. පැහැය සහ ස්වභාවය.
  7. පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.
  8. මංගල, සුමන, රේවත හා සෝභිත යන සිව් බුදුවරුන් බුද්ධත්වය‍ට පත් වූයේ නා ගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම
  9. ඉතා ශක්තිමත්, අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා එවන් සවිමත් චිර පැවැත්මක් දේශයට ද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.
  10. සර්ප දෂ්ඨය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.

වැසි වනාන්තර වල වැඩෙන මෙම ශාඛය උසින් මීටර 30 ක් පමණ වන අතර ලංකාවේ තෙත් කලාපයට ආවේණික වේ. නා දළු රත් පැහැ වන අතර පරිණත වන විට කොළ වර්ණය ගනී. නා ගසේ දැව ඉතා තද ගතියෙන් යුක්තය, කල් පවතී. එම නිසා ඈත අතීතයේ දී පාලම් සෑදීමට ගනු ලැබී ය. ආගමික වටිනාකමින් යුක්ත වන බැවින් වර්තමානයේ දී දැව සදහා භාවිතා නොකරනු ලබයි. නා මල ආයුර්වේද ඖෂධ, සුවඳ විලවුන් සහ සබන් නිපදවීම‍ට ගනී.
බුදුන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවේ දී මහියංගනයේ නා ගස් විමනකට පැමිණි බව දැක්වේ.

ජාතික පක්ෂියා #

Gallus lafayetii
Gallus lafayetii

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා Gallus lafayetii යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වලි කුකුළා වේ.වලි කුකුළා නමින් උච්චාරණය කලද මේ සත්වයාගේ නම වල කුකුළා හෙවත් කැලෑ කුකුළාය.
මේ සත්වයා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා සේ නම් කලේ 1986 දීය. වලි කුකුළා අප රටට ආවේණික ඒක දේශික පක්ෂියෙකි.

මෙම පක්ෂියා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

  • මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරණ දැකුම්කලු සතෙකු වීම.
  • ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
  • ඵඩිතර සටන්කාමී කඩිසර සතෙකු වීම.
  • කුකුළා, අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම

වලි කුකුළා ගේ හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමලය මැද කහ පැහැති ලපයකි. රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිතය. වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී. රාති‍්‍රය ගත කරනුයේ උස් ගස් මුදුනේය. පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි. දුර්වර්ණ බිත්තරය සුදුපැහැති තිත් වලින් යුක්තය.
උඩවළව, යාල, වස්ගමුව, කුමන, රිටිගල, රන්දෙණිගල, කිතුල්ගල හා දෙනියාය වැනි ප‍්‍රදේශ වල දැකිය හැකි වලි කුකුළා මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.

ජාතික ක්‍රීඩාව #

ජාතික ක්‍රීඩාව

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස 1991 වසරේ සිට වොලිබෝල් ක්‍රීඩාව නම් කර ඇත.
වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වනලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උපක්‍රමයයි. මෙම පතිත කරවීම සිදුකරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි. ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.


මෙම ලිපිය මතුගම සී. ඩබ්.  ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය සශික අනුශාන් මුණසිංහ මහතා විසින් අන්තර්ජාලය සහ පොතපත පරීශීලනය කොට සකසන ලද්දකි.

මෙම ලිපිය පිලිබඳ ඔබේ අදහස් පහතින් Comment කරන්න.

Powered by BetterDocs

Leave a Reply