වාර්ෂික පළතුරු සත්කාරය – 2019

You are currently viewing වාර්ෂික පළතුරු සත්කාරය – 2019

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කළුතර දිසා බාලදක්ෂ ශාඛාව මඟින් වාර්ෂිකව වසර 25 කට අධික කාලයක් තිස්සේ පොසාන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන කළුතර මහ රෝහලේ නේවාසික රෝගීන් සඳහා ලබා දෙනු ලබන පළතුරු දානමය සත්කාරය මෙවරත් 2019 ජුනි මස 29 වන සෙනසුරාදා දින රෝහල් පරිශ්‍රයේදී සාර්ථක අන්දමින් සිදු කරන ලදි.

කළුතර මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිළධාරී තුමියගේ අවසරය පරිදි, කළුතර දිසාවේ සහකාර දිසා කොමසාරිස් (කළුතර) නිශාන්ති තොටගමුව මහත්මිය විසින් කළුතර දිසාවේ සහකාර දිසා කොමසාරිස් (වැඩසටහන්) අරවින්ද හිරාන් පතිරගේ (සහය පුහුණු කිරීමේ නායක) මහතාගේ උපදෙස් පරිදි මෙවර මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මේ සඳහා මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මැතිණිය, කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මහත්මා (පුහුණු කිරීමේ නායක) , සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් (පුහුණු) නාමල් ගුරුසිංහ මහතා, සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් (බේරුවල) නුවන් ජීවන්ත මහතා ඇතුළු දිසා සංගමයේ නිළධාරී මහත්ම මහත්මීන් ද,

  • ක/තිස්ස ජාතික පාසල.
  • මතු/සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය.
  • ක/විද්‍යාලය ජාතික පාසල.
  • ක/පොතුවිල මහා විද්‍යාලය.
  • ක/සිරිකුරුස විදුහල.
  • ක/කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහල.
  • ක/බේරුවල ආරියවංශ විදුහල.
  • කටුකුරුන්ද ගුවන් බාලදක්ෂ සමූහය

යන බාලදක්ෂ සමූහ වල විදුහල්පති වරුන්ගේ අවසරය පරිදි බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් සහ පෝතක සහ බාලදක්ෂ බාලක බාලිකාවන් ද, පූර්ණ අනුග්‍රහක දායකත්වය සපයන ලදි.

මෙහිදී රෝහලේ ප්‍රසව හා නාරි වාට්ටුව, ළමා වාට්ටුව, නොමේරූ ළදරු ඒකකය, මානසික රෝග වාට්ටුව යන වාට්ටු වල සියළුම නේවාසික රෝගීන් සහ මව්වරුන් සඳහා පළතුරු පාර්සල් ලබා දුන් අතර, එම වාට්ටුවල සියලුම කාර්ය මණ්ඩල සඳහාද පළතුරු පාර්සල් ලබාදෙන ලදි.

අතීතයේ බාලදක්ෂ කටයුතු පිරිමි ළමුන්ට පමණක් සිදු කෙරුණු අතර ඔවුන් හට මව පිළිබඳ හැඟීමක් ඇතිකරලීමේ අරමුණින් මෙම පළතුරු සත්කාරය ආරම්භ වූ බවත්, පසුකාලීනව මෙය දිසා සංගමයේ වාර්ෂික වැඩසටහනක් ලෙසින් නොකඩවාම සිදු කෙරුණු අතර, මෙවරද කළුතර දිසා සංගමයට අති සාර්ථක අන්දමින් මෙම කාර්යය සිදු කිරීමට හැකියාව ලැබුණු බවත්, ඉදිරියටත් මෙවන් ප්‍රජා සත්කාර කිරීමට බාලදක්ෂ දරුවන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් සුභපැතුම් එක් කරන බවත්, මූලස්ථාන කොමසාරිස් තුමිය ආරම්භක රැළියේදී පැමිණී පිරිස අමතමින් පැවසීය.

මේ සඳහා නන් අයුරින් සහය දැක්වූ සැමට කළුතර දිසා සංගමයේ ස්තූති ප්‍රණාමය පුදකර සිටින්නෙමු.

ඡායාරූප : නුවන් ජීවන්ත – සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් (බේරුවල)

Leave a Reply